නත්තල් තෑග්ග – ලෝකය දකින්නට !

කැම්පස් යන කාලේ මම ඉගෙන ගන්න දේ, තව ඉගෙන ගන්න කෙනෙකුට දෙන්න මගේ ලොකු ආසාවක් තිබ්බා. (තාමත් තියෙනවා) ඒ නිසාම අවුරුදු දෙකක් ගුරු වෘතියේ යෙදුන මම අත්දැකීමෙන් දන්නා කාරණාවක් තමයි ළමයි පත පොතින් කොයි තරම් දුරස්ථ වෙලාද කියලා. විභාගේ ලියන්න ඕනි කරන පොත් ටික ඇරුණම බාහිර පොතක් අතට ගන්නේ අතලොස්සයි.

අද අම්මල තාත්තලා ළමයින්ට තෑගී කරන්නේ හෙන හයි ෆයි ෆෝන් (phones), ටැබ් (tab) , ප්ලේ ස්ටේෂන් (playstation) වගේ දේවල්. එත් මම අදටත් සතුටු වෙනවා මගේ අම්මලා තාත්තලා මගේ අතට පතක් පොතක් දුන්න එක ගැන. අද කාලේ ට්‍රෙන්ඩ් (trend) එකේ අය කියාවි ‘අපෝ හරි බොරින් (very boring), හරිම ගෝර්ඩි (very gaudy ), ඕල්ඩ් ෆැෂන් (old fashion), හරිම නර්ඩි (very nerdy)” කියලා. ඒ වුනාට කොයි කාටත් අමතක වෙන දෙයක් තමයි, කාලය තරණය (time travel) කරන්න වගේම, ඒ කාල තරණය ඔස්සේ අපේ මුතුන් මිත්තන්ගේ දැනුම ලබා ගන්න තියෙන හොඳම කාල දොරටු (Time portals) ඔය අහක දාන පත පොත කියලා.

හෙට නත්තල් නේ. නත්තල් සමරුවට මොකද නත්තලේ සැබෑ අරුත ඊට පහුවෙනිදම කට්ටියට අමතකයි. නත්තල් , අවුරුදු , වෙසක් ඔය කොයි එක වුනත් ඔච්චර තමයි. අභ්‍යන්තරය හිස් නම්, ඒක පෝෂණය වෙන්නේ නැත්නම් අරුත් කොහේ මතක හිටින්නද ? ඒ සිතුවිල්ලත් එක්ක පොත් රාක්කේ දිහා බලපු මට එකපාරටම ඇහැ ගිය පොතක් තිබ්බා. ඉතින් මට හිතුනා මම පොඩි කාලේ කියවපු මේ පොඩි පොත ගැන පොඩි සටහනක් තියන්න. මොකද ඒක මට ලැබුනේ අද වගේ දවසක නිසා .

ඉස්කෝලේ යන කාලේ එක නත්තල් දවසක අපේ තාත්තා මට මේ පොත ගෙනත් දුන්නා. පොතේ නම “සිරිත් මල්දම”. මම හිතන විදියට වැඩි හිටි කොයි කවුරුත් එක පාරක් හරි කියවන්න වටින පොතක් තමයි සිරිත් මල්දම කියන්නේ. (විශේෂයෙන්ම ඔය “හෙළ සිංහලයේ ” කිය කියා වංශේ කබල් ගාන ඈයෝ එහෙම). පොත පිටු 30 වගේ, පොත රු..30 අපේ තාත්තා මට දෙන කොට, දැන් නම් රු.100 – 150 වයි වැඩිම. ඉස්කෝලේ යන ළමයි නම් කියවියම යුතුයි කියලා තමයි මගේ මතය.

අද කාලේ සමාජය තුළ ගැවසෙනවා කියන්නේ හරිම මායාකාරී අත්දැකීමක්. මොකද බහුතරයක් ප්‍රෝඩාව.ප්‍රෝඩාව කොතරම්ද කියුවොත් “සත්‍ය” කියන වචනයේ ශබ්දයට පවා මිනිස්සු හරි බයයි.

ඇත්ත නැත්ත නැති ඇති කර පැවසීම
සත්ත නොවන බස වෙයි ඒ බොරු කීම
        පැත්ත උතුම් වැනසෙයි ලොව දොසින් එම
 ඇත්ත නිතර පවසනු දෙලොවෙහි මහිම.

සිරිත් මල්දමේ මේ කවියෙන් කියවෙන්නේ සත්‍ය අසත්‍ය කොට පැවසීමත්, අසත්‍ය සත්‍ය කොට පැවසීමත් බොරුව නම් වේ කියලා. එහෙම වුනාම මේ ලෝකයේ හොඳ පැත්ත වැනසෙන නිසා ඇත්ත නිතර කතා කිරීම මගින් දෙලොවේම යහපත සැලසෙන බවයි.

ඒ වුනාට සත්‍ය අසත්‍ය කියන දේ සාපේක්ෂයි. අනික අද සමාජය කොතරම් සංකීර්ණද කියවනම් අපි සත්‍ය අසත්‍ය වෙන් කරගන්නවාට වඩා හොදට හංසයෙක්ට පුළුවනි දියෙන් කිර වෙන් කරගන්න. මොකද සත්‍ය කොයි තරම් හයියෙන් හඬ නැගුවත් අසත්‍ය තුළ බල මහිම වැඩියි. අසත්‍ය පරාජය කිරීම යථාර්තවාදී නැහැ,එත් එහෙමයි කියලා නිහඬ වීම පිළිතුරත් නෙවෙයි.

හරි දෙය වැරදි ලෙස
             වැරදි දෙය හරි දෙය ලෙස
පිළිගැනුම තද දොස
                   එයින් විපතක් වේය අපහස.

අපි හුඟක් වෙලාවට හරි දේ කතා කරනවා අඩුයි. ඇයි ? බය! වෙන මොකක්ද? අපි බයයි අපි කොන් වෙයි කියලා, අපි බයයි සමාජය තුළ අපි මවන ප්‍රතිරූපයට හානි වෙයි කියල, අපි බයයි අපිට දේවල් නැති වෙයි කියලා, අපි බයයි අපි තනි වෙයි කියලා, අපි බයයි අපි ප්‍රතික්ෂේප වෙයි කියලා. ඩයානාලා (princess Diana), මාර්ටින් ලුතර්ලා (Martin Luther ), මැන්ඩෙලා (Mandela), ජේසු තුමා (Jesus) වගේම බුදුරජාණන් වහන්සේත් (Buddha) එහෙම හිතුවනම් අද ලෝකේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. මොකද කවුරු කරත්, කවුරු කොහොම මොන තර්කය ගෙනාවත් වැරදි දෙයක් කවදාවත් හරි වෙන්න විදියක් නැහැ. ඒක තමයි ලෝක ධර්මතාව.

 

කසල ගොඩ තිබුනත්
මැණික් අනගිය සිරිමත්
එමෙන් සුළු දන පුත්
උතුම් වෙයි හොඳ සිරිත් දරුවොත්

නමින් පට බැන්දත්
රනින් රුවනින් දිලුනත්
කුලෙන් රජ වුවත්
එයින් පල කීම සිරිත් හැරියොත්.

 

මම ඔය කාර්යාල වල එහෙම අනන්තවත් අත්දැකපු දෙයක් තමයි ඔය ලොකු ලොකු පුටු වල ඉන්න උදවිය තමාට වඩා තනතුරෙන් පහල ඉන්න අයට සලකන විදිය. එහම කෙනෙක් ආයෙත් මුණගැහුනොත් මේ කවිය හයිලයිට් (highlight ) කරලා මෙයින් පොතක් තෑගී කරන්න. හැදෙනවට නෙවෙයි. අඩුගානේ තමන්ටවත් පිනක් නේ.

සිරිත් මල්දමේ විතරක් නෙවෙයි පොඩි කාලේ ඉදන් දෙමාපිය දෙගුරුන් හැමෝම වගේ කියලා දුන්න, කියලා දෙන්න හදන පාඩමක් තමයි කිසිම දවසක මනුස්සයෙක් සුළු කොට නොතකන්නත්, මනුස්සයෙක්ගේ වටිනාකම ගුණදම් හා සිරිත් විරිත් වලින් මිස වෙන බාහිර අත් පත් කර ගැනීම් මගින් මැන බැලීම කිසිඳු පලක් නොමැති බවත්. ඒ කොහොම වුනත් ජීවන ගමනේ තැන් තැන් වල ඕවා අමතක නොවෙනවම නෙවෙයි. එත් අමතක වුනා කියලා වත් දැනගන්න කියවලා තියෙන එපැයි. දුක කියන්නේ බහුතරයක් එහෙම නැති එකයි.

සිරිත් මල්දමේ නම් උගත හැකි දේ බොහොමයි. එත් ඉගෙන ගන්න කැමති ඈයින්ට. මට එකේ තියෙන ඔක්කොම මේකේ ලියන්න කල්පනාවක් නැ. එත් අන්තිමට පොඩි සඳහනක් කරොත් හොදයි කියලා ඇහැ ගිය කොටසක් තිබ්බා.

      ආගම ගැන වාදය නොකරන්නේ
        පව් හැම දුරු කර පින් කරගන්නේ
    නිතරම සිත පිරිසිඳු කර ගන්නේ
ආගම එය යයි පඬි බස වන්නේ

ආගම ගැන (සැකයෙන් විශේෂයෙන්ම) වාද කරන්න යාම බොරු වැඩක්. හැම විටකම සිත පිරිසිඳු කරගන්නත්, පිනක් දහමක් කරගන්නත් වෙහෙස වීම නම් ආගම යයි පඬිවරුන්ගේ ඉගැන්වීම බවයි මේ කවියෙන් කියන්නේ. කොහොමත් තමන්ගේ සිත පිරිසිඳු කරගන්න වගේම, අනෙකට යහපතක් සලසන්න වෙහෙසෙන මිනිස්සුන්ට ඔය ආගම් ගැන වාද කරන්න වෙලාවක් ඇති කියලා මට හිතෙන්නෑ.

සිරිත් මල්දම ඇත්තටම වටින පොතක්. කොයි පොත වුනත් මගේ පොතේ හැටියට වටිනවා. කියවනවා කියන්නේ ලෝකය දකිනවා කියන එක. ඒ විතරක් නෙවෙයි ලෝකය දකින්න ආසාව ඇති කරන්නෙත් කියවන එක. මගෙන් ඇහුවොත් නම්, ලෝකය දකින්න හොදම නත්තල් තෑග්ග.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s