බෝසත් පෙම හන්තානෙන් පෑයූ වගයි

අර්ථ විරහිත, දවසින් දෙකෙන් වියැකී යන ලදරන් ගීත සංස්කෘතියක, සංවේදී පද මාලා නොලියවෙනවාමත් නොවේ.

එවන් ගීත අතරින් සත්‍ය සිද්ධියක් අභාෂ කොට ගෙන ධම්මික බණ්ඩාර මහතා විසින් ලියවුනු “හන්තානට පායන සඳ” නම් ගීතය එදා මෙදා තුර ලියවුනු ගීත අතුරින් වඩාත් පරිත්‍යාගශීලී ප්‍රේමයක තිබෙන සුන්දර බව විදහා දක්වන්නට සමත් වනුයේ කිසිඳු ආයාසයකින් තොරව වීම සුවිශේෂත්වයකි.

මෙම ගීතය ලියවෙන්නේ 2005 වර්ෂයේදී ගීත රචකයා හට මතකයට නැගෙන සුන්දර ප්‍රේම කතාවක් ඇසුරෙනි.

” උසස් පෙළ ළමයින්ට උගන්නන පෞද්ගලික පන්තියක, මම දැක්කා පුංචි ප්‍රේම පැලෑටියක් වැවෙනවා. විවේකයක් දුන්නම පිරිමි ළමයෙකුයි ගෑනු ළමයෙකුයි බත් මුලක් දෙකට දෙකට බෙදාගෙන කනවා. ඉතින් මේක විනය විරෝධී ක්‍රියාවක් හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් නොවන නිසා ඒ ගැන මම ප්‍රශ්න කරන්න ගියේ නැහැ. විභාග ප්‍රතිපල ආපුවම මේ ගෑනු ළමයා මම ගාවට ඇවිල්ල මට A හතරක් තියෙනවා කියලා වැඳලා ගියා. පස්සේ මේ ගෑනු ළමයා විශ්වවිද්‍යාලෙට යනකොටත්  ඇවිල්ල මතක් කරලා ගියා. පස්සේ කාලයාගේ ආවෑමෙන් මට මේ දෙන්නව අමතක වෙලා ගියා.

දවසක අහම්බෙන් වගේ මගේ ගාව සුදු පාට වෑන් එකක් ඇවිල්ල නතර උනා එකෙන් ටයි එකක් දාගත්තු පිරිමි ළමයෙක් ඇවිල්ල “සර්” කියල කතා කරා. ඒ එක්කම මට අර බත් මුල බෙදන් කාපු ජෝඩුව මතක් වුනා. මම ඒ පිරිමි ළමයාගෙන් ඇහුවා ” කෝ අර ඔයත් එක්ක බත් මුල බෙදන් කාපු ගෑනු ළමයා, දැන් විශ්වවිද්‍යාලෙ ගියා නේද කියලා” පස්සේ මේ ළමයාගේ මුණ ටිකක් වෙනස් වුනා . පස්සේ ඒ ළමයා මට කියුවා “සර් මම ඒ සම්බන්දේ නැවැත්තුවා” කියලා .

මම ඇහුවා, “පුදුම මනුස්සයෙක්නේ, සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනික් පැත්තනේ. සරසවි වරම් ලබලා ගියාම ගමේ ඉන්න පිරිමි ළමයාව අත අරින්නේ විශ්වවිද්‍යාලෙට ගිය ගෑනු ළමයා. විශ්වවිද්‍යාලේම කොල්ලෙක් හොයාගන්නවා. දැන් මේකේ එහෙම නෙවෙයිනේ. ඇයි එහෙම අත්හැරියේ ?”

“නෑ සර්, එහෙම නෙවෙයි. දැන් මට විශ්වවිද්‍යාලෙට යන්න බැරි වුනානේ. එතකොට එයාගේ ලෝකේ හරි වෙනස් නේ. මම දන්නවා ඒක හරි ලස්සනයි. මම ඔතනට කඩන් පාත් වෙන්න ගියාම ඒ ළමයට ගොඩක් දේවල් නැතුව යනවා. එකයි මම එහෙම කරේ.”

“තමුසේ මාර බෝධිසත්වයෙක්නේ” කියලා පස්සේ මම යන්න ගියා.

ඊට පස්සේ මට ඕක අමතක වුනා. ඒ අමතක වෙලා දවසක් මම ලිපියක් ලියමින් ඉන්න කොට මට ඇහුනා ‘හුලවාලි” කියන චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරපු ‘කුඩා ගමේ මද්දහනේ” කියන ගීතය. මේකේ අන්තිම පද පේලියේ තියෙනවා,

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකි

ආලේ බිඳුනා කුමකට කඳුළු හෙලනු සකි
ආල වදන යන තේරුම බෝසත් කම සකි

ඕක ඇහුණාම මට මේ ගෑනු ළමයගෙයි පිරිමි ළමයගෙයි සිද්දිය මතක් වුනා. ඊට පස්සේ තමයි මම අර ලිය ලිය හිටපු ලිපියේ කොලේ කොනක මේ පද මාලාවේ පළමු පද වලට මුල පිරුවේ.”

ගායනය : අමරසිරි පිරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : ඩෙනිස්ටර් පෙරේරා 

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය  දකින්න //

හන්තාන කඳු පන්තිය පේරාදෙණිය විශ්වවිද්‍යාල වරම් ලැබුවෙකු වරකට වඩා යනු ලබන සුන්දර ස්ථානයකි. හන්තානට පායන්නාවූ පුර හඳ ඇයට දකින්නට වරම් හිමි වුනද ඔහුට වරම් නොමැත.

අඳුරු වලා වහිනා කල
සරසවි බිම තෙමන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

පේරාදෙණිය සරසවිය ලංකාවේ තිබෙන සුන්දරම වූ සරසවිය බව කීවාට කම් නැත. මන්දයත් එය එම සරසවි බිම තුලට ඇතුලුවන ඕනෑම පුද්ගලයෙකු හට පසක් වන බැවිනි. එවන් සුන්දර වූ පරිසරයක් තුළ දළු ළා ලියලන ප්‍රේමය කෙතරම් සුන්දරද? සුන්දර පරිසරයක් හරහා වැටුණු කුඩා පාරවල් ඔස්සේ වැසි වස්නා කල කුඩයක් යටින් යාම සොඳුරු ප්‍රේමාන්විත අත්දැකීමක් බව ඔහු නොදන්නවා නොවේ.  එහෙත්ම  ප්‍රේමාන්විත අත්දැකීමේ කොටස්කරුවෙකු වන්නට ඔහුට වරම් නැත. එහෙත් තමා පෙම් කළ යුවතියට තනි කම නොදැනෙනු පිණිස  තමා නොවන වෙනකෙකු සමඟ එලෙස යාමට අවංක සිතින් ප්‍රාර්ථනා  කළ හැක්කේ බෝසත් පෙමකට පමණි.

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලි කර
මහවැලියට   දමන්න

පේරාදෙණිය සරසවි භුමිය තුළ තරම් පෙම් කිරීමට මවුනාවූ පරිසරයක් තවත් නොමැති තරම්ය. ඔහුගෙන් වෙන්වී එවන් වූ පරිසරයක් තුළට ඇතුළු වන ඇයට ප්‍රේමාන්විත ඇරයුම් ලැබෙනු නොඅනුමානය. එවන්වූ මොහොතක පේරාදෙණි භුමිය අසලින් ගලනාවූ මහවැලි ගං තිරයට තමා සමඟ බැඳී ඒ මතකයන් ගුලි කර විසි කර දමා, ඇයට ගැලපේ යයි ඔහු සිතන නව දිවියකට පිවිසීමට ඔහු කරන ඇරයුම, ප්‍රේමය නම් ලබා ගැනීමට එහා ගිය පරිත්‍යාගයක්ම බව පසක් කරයි.

ඔහු ඇය අතනොහරින්නට ප්‍රේමයට වෙනස්කම් නොපෙනෙන  බවත්, වෙනස්කම් තුළ වුවද ප්‍රේමයක් සාර්ථක විය හැකි බවත් සැමට ආදර්ශයක් ලෙස පසක් කරමින් එම  ප්‍රේමය සාර්ථක ප්‍රේම කාතාවක් ලෙස නිම වන්නටද ඉඩ තිබුණි. නොමැති නම් ඔහු සිතු ලෙසම ඇය සරසවි බිම තුල වෙනකෙකු හා හාද වී ඇය අවස්ථාවාදී චරිතයක් ලෙස දිස් වීමට ඉඩ තිබුණි. කෙසේ වුවද ඔහු කල පරිත්‍යාගය තුලින් ඇය අවස්ථාවාදී චරිතයක් ලෙස දිස් වීමට තිබු සම්භාවිතාව දිය වී ගොස් ඔහු බෝසත් ප්‍රේමවන්තයකු විය. ඔහුට ඇය හිමි නොවුනද ඔහු ප්‍රේමය ජය  ගත්තේය .  ඇයට ඔහු හිමි නොවුනද ඇය චපල පෙම්වතියක් ලෙස ඉතිහාසගත වුයේ නැත. ඔහුගේ තීරණය ඔහුගේත් ඇයගේත් ප්‍රේමය මෙතරම් අමරණිය ප්‍රේමයක් කරනු ඇතැයි ඔහු නොසිතන්නට ඇත.

සරසවි වරම් ලැබුමට ඇය නිතැතින්ම පිංවන්තියකි. එහෙත් බෝසත් පෙමක හිමිකාරිත්වය හිමි කර ගැනීමට තරම් ඇය පිංවන්තියක් නොවිය . ඔවුන් දෙපලගේ ප්‍රේමයේ පරිත්‍යාගය හේතුවෙන් තවකෙකු එම බෝසත් පෙමට කවදා හෝ හිමිකම් කියනු ඇත. එහෙත් හිමිකාරිත්වය කිසි දිනෙක පරිත්‍යාගය තරම් අමරණිය නොවනු ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s